හොල්මන්










 හොල්මන්.... 


කරුණාකර කතෲ අයිතිය සුරැකීමට කාරුනික වෙන්න..


හොල්මන්..

ඉන්නවාද? ඇත්තක්ද? බොරුවක්ද? 

මේ මාතෘකාව නම් ලොකුවට ආන්දෝලනයක් ඇතිවෙලා තියෙන යම් මතයක් හා කතාවක් පිළිබඳවයි.. 

මුලින්ම කියන්න ඕනෙ මෙන්න මේ "හොල්මන්" කියන වචනේ භාවිතයෙන් ඉවත් කරන්න ඕනෙ. මොකද ඒකෙ තේරුම "හෙලවෙන මනස" නිසා තමයි ගොඩාක් අය පටලවා ගන්නෙ.  නියම වචනය "අද්භූත බලවේග" හෝ "අදෘශ්‍යමාන බලවේග"


මුලින්ම කියන්න ඕනෙ ලොකුවට අඬබෙර නොගැහුවත් මමත් අවුරුදු ගානක ඉඳන්ම මේ දේවල් ගැන හොයන කෙනෙක්.. ඒ නිසයි වගකීමෙන් මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. මේ ලිපිය ඉදිරිපත් වෙන්නෙ ආගමික මත හා නූතන විද්‍යාත්මක සොයාගැනීම් අනුව.


සමහරු කියනවා මේ හොල්මන් නැත්නම් අද්භූත බලවේග කියන්නේ හිතේ මවාගත්ත දේවල් හා බොරු කියලා. මෙන්න මේ මතය පිළිගන්නෙ බෞද්ධයෙක් නම් එයා ඒ මොහොතෙම මිත්‍යාදෘෂ්ඨිකත්වය පත්වෙනවා. දෙවියන් වහන්සේ විශ්වාස කරන කෙනෙක් නම් ඒ මොහොතෙම උන්වහන්සේ අවිශ්වාස කළ කෙනෙක් වෙනවා. ඉස්ලාම් ආගමිකයෙක් නම් ඒ මොහොතෙම අල්ලා දෙවියන්ව අවිශ්වාස කළ කෙනෙක් වෙනවා සහ හින්දුවෙක් නම් ඒ මොහොතෙම පරමාත්මය මෙන්ම ත්‍රිමූර්තිය අවිශ්වාස කරන්නෙක් වෙනවා.


දැන් මේකට මාත් එක්ක තරහා නොගෙන, මං මේ ඉදිරිපත් කරන දේවල් සිහියෙන් විමසන්න. ඊටපස්සෙ ඕන්නම් මාව මරාගෙන කෑවත් කමක් නෑ..


01. ඔයා බෞද්ධයෙක් නම් කොහොමද අද්භූත බලවේග අවිශ්වාස කරන්නේ?  මුලින්ම කියවන්නකෝ හොයාගෙන මෙන්න මේ සූත්‍ර ටික.. ඕන්නම් මං දෙන්නම්. 

සූත්‍ර පිටකයේ, ඛුද්දක නිකායෙ, පේතවත්ථු පාලියේ,

උරග වග්ගයේ 

* පූතිමුඛ ප්‍රේත වස්තුව

* සූඛරමුඛ    "


උබ්බරී වග්ගයේ

* කෘෂ්ණ ප්‍රේත වස්තුව

* චුල්ල සෙට්ටි    "


චූල වග්ගයේ

* රථකාර ප්‍රේත වස්තුව

* මිගලුද්දක    "


මහා වග්ගයේ

* අම්බසක්ඛර ප්‍රේත වස්තුව

* රේවතී   "


ඊට පස්සෙ මහ පිරිත් පොතේ ධජග්ග සූත්‍රය, චක්කවත්තී සීහනාද සූත්‍රය, මහා සමය සූත්‍රය, ආටානාටිය සූත්‍රය කියවන්නකෝ.. මහා තණ්හාසංඛය සූත්‍රය සිහියෙන් කියවපු කෙනෙකුට කවදාවත් අද්භූත බලවේග නෑ කියන්න බෑ. ඒ සූත්‍රයේ තියෙනවා අද්භූත වර්ගකරලා පවා.. චුට්ටක් ඉන්න


02. ඔයා කතෝලික හෝ ක්‍රිස්තියානි භක්තිකයෙක් නම් දෙවියන් වහන්සේ විශ්වාස කරනවනේ.. බයිබලය පරණ තෙස්තමේන්තුවේ ලෝකෝත්පත්තියේ කියනවනේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගෙ ස්වරූපය.. එතකොට උන්වහන්සේ ශරීරයක් නොමැති බලවේගයක් නෙවේද? ලුසිෆර් හෙවත් සාතන් කවුද? අග්‍ර දේවදූත මිඛායෙල් කියන්නෙ මනුස්සයෙක්ද? මරිය මවුතුමීට සුභාරංචිය කිව්ව ගේබ්‍රියල් දේවදූතයා අද්භූත බලවේගයක් නෙවෙයිද? වෙනේකක් තියා ජේසුතුමත් වරක් යක්ෂයා ආවේශ වූ කෙනෙක්ව ආශිර්වාදයෙන් සුවකළා නේද?  ඔහොම ඉන්න.


03. අල්ලා දෙවියන් කියන්නෙ කවුද? එතුමා සර්ව බලධාරියා කියලා විශ්වාස කරන කෙනෙක් කොහොමද එතුමාට වඩා බලයෙන් අඩු ආත්ම ඉන්නවා කියලා කියලා පිලිගන්නෙ නැත්තේ? ඒ වගේම ශුද්ධ කුරාණයේ සුරා කොටස කියවන්න සිහියෙන්. එතකොට තේරේවි.. ඔහොම ඉන්න


04. පරමාත්මය හා විෂ්ණු, බ්‍රහ්ම, ඊෂ්වර කියන ත්‍රිමූර්තිය පිලිගන්න හින්දුවෙක් කොහොමද බලවේග විශ්වාස නොකර ඉන්නෙ ? අසුරයෝ, යක්ෂයෝ දෙවිවරුත් එක්කමනේ ඉන්නේ.. සමහර යක්ෂයෝ දෙවිවරුන්ගේ කෝපයේ ප්‍රතිපල. මෝහිනී කියන්නෙ කවුද? විෂ්ණුගේ අවතාරය. ස්කන්ධ පුරාණ, ගරුඬ පුරාණ, සිලප්පදිකාරම්, විෂ්ණු පුරාණ කියවන්න. ඔහොම ඉන්න.. තවම ඉවර නෑ.


හිතන්න, මේ තියෙන්නෙ ආගමික තොරතුරු කීපයක් විතරයි. අද්භූත බලවේග කියන්නෙ මවාගත්ත හිතළුවක් විතරයි කියන කවුරුවත් මේ සාධක කියවලා තියෙනවද? 


මේ ලෝකෙ හැදිලා තියෙන්නෙ පරමාණුවලින් කියලා හැමෝම දන්නවා. ඒ පරමාණු ඇතුළේ ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන, පොසිට්‍රෝන තියෙනවා කියලත් දන්නවා. ඒවා තියෙන්නෙ ප්ලම් පුඩිම් ආකෘතියට අනුව කියලත් දන්නව. ඔය හැමදේම අපි හැමෝම දන්නවා. වාතය හැදිලා තියෙන්නෙත් වායු අණුවලින් කියලත් දන්නවා. මං දෙයක් අහන්නද? 

කවුද පරමාණු දැකලා තියෙන්නෙ? මේක කියවන ඔයා දැකලා තියෙනවද? හරි.. පියවි ඇහෙන් එපා.. ඔයා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන්වත් දැකලා තියෙනවද? හුළඟ දැනුනට ඒකෙ තියෙන වායු අණු ඔයාගෙ ඇඟේ හැප්පිලා තියෙනවද? නෑනේ? 

එහෙනම් කොහොමද මනුස්සයෝ ඔයා කියන්නෙ පරමාණු කියලා ජාතියක් තියෙනවා කියලා? මොකක්ද සාධකය? 


ඔයා කියන ඔය හැමදේම කියන්නෙ තව කෙනෙක්ගෙ දැනුමින්. ප්‍රත්‍යක්ෂව නෙවේ. ඒ කියන්නෙ ඔයාලා හැමෝම පිළිගන්නවා ඇහැට නොපෙනෙන දේවල් තියෙනවා කියලා.

ඉර එලියේ පාරජම්බූල කිරණ තියෙනවා කියලා ඔයාලා පිළිගන්නවා. මට කියන්න ඔයා දැක්කද? අහුවෙලා තියෙනවද? නෑ ඒ හමදේම දැනුමේ පැතිරී යාම. ඒ දේවල් වලින් සිද්ධවෙන බලපෑමෙන් කෙරෙන අනිත් දේවල්වල ප්‍රතිපලවලින් අපිට තේරුම්ගන්න පුලුවන් ඒවා තියෙනවා කියලා නේද?

හිතන්නකෝ මෙහෙම.. දැන් මට පේන්නෙ, දැනෙන්නෙ, ඇහෙන්නෙ නැති වුනා කියලා පරමාණු නැද්ද? තියෙනවා. අන්ධයෙකුට නොපෙනුනා කියලා එයාට නොපෙනෙන දේවල් ලෝකෙ නැත්තේ නෑනෙ නේද? 


ටිකක් හිතන්න.. බුද්ධිමත්ව හිතන්න, හොයලා බලන්න, කියවන්න, තව කෙනෙකුට ඇහුම්කන් දෙන්න. තමන්ට හරියි කියලා හිතුනා කියලා, තව කෙනෙක් දක්ෂ විදියට කිව්වා කියලා, ඒ මොහොතේ තාර්කිකව ඔප්පු කළා කියලා මෝඩයෝ වගේ හැමදේම පිළිගන්න එපා. කෙනෙක් කියන දේ ගිරව් වගේ කියවන්න එපා  ගවේෂණය කරලා අවබෝධ කරගන්න.

සමහරු කියනවා 'මං මෙහෙම හොල්මනක් වගේ දැක්කා, ඇහුනා.. ලඟට ගිහින් බලද්දි බල්ලෙක්, එක්කො මීයෙක්.. හොල්මන් කියලා මෙ මෝඩයෝ කියන්නෙ ඕවට, මං බයවුනා නම් මමත් හොල්මන් දැක්ක කියලා හිතන්නෙ' වගේ මෝඩ කතා. ඒ එක සිද්ධියක් විතරයි. ඔයා මීයෙක්ගෙ සද්දෙට ගැස්සිලා බය නොවී හිටියා කියලා, පස්සෙ ඒක දැකලා.. ඔයා ඩන්නෙ ඒ සිද්ධිය විතරනේ. කොහොමද ඔයා දන්නෙ ඔයාගෙ ඇස්වලට ඒ බලවේග නොපෙන්න තරම් මොකක් හරි දුර්වලකමක් තියෙනවද කියලා. අනික ඒ බලවේගවලට ඔයත් එක්ක බේරගන්න ගනුදෙනුවක් නැත්නම් මොකටද ඔයාට පේන්න එන්නෙ. හිතන්නකෝ,

පාතාලෙ ඉන්න මැරයන්ව අපි දැකලා නෑ. උන්ට අපිත් එක්ක ගනුදෙනුවක් හෝ ගනුද්නුවක් තියාගත යුතු යමක් නෑ. ඉතින් මැරයො ඇවිල්ලා ඔයාව් මරලා යනවද නිකම්? ඔයාව මැරුවෙ නෑ කියලා සමාජයේ මැරයෝ නැද්ද?


හ්ම්ම් තේරුම් ගන්න..


මේ ලොකෙ නිර්මාණය වෙලා තියෙන්නෙ පදාර්ථ (පරමාණු) හා ශක්ති (ආලෝකය, උෂ්ණය)  වලින්. ඕනෙම දෙයක් හැදෙන්නෙ එහෙමයි. 

අද්භූත බලවේගත් එහෙමයි.. විඥ්ඥාණය හා අපේ ඇහැට නොපෙනෙන "තන්මාත්‍ර අංශු"වලින්. මොනාද මේ තන්මාත්‍ර අංශු කියන්නෙ?

අපි සෙන්ට් කුප්පියක් ඇරලා තිබ්බම ඒකෙ තියෙන සුවඳ ඈතට දැනෙනවා නේද? මල් සුවඳ, ආහාර සුවඳ වුනත්.. එතකොට කොහොමද බෝතලේ තියෙන සුවඳ දියරය දුරට දැනුනේ? සුවඳ අංශු. ඒ වගේ තමයි තන්මාත්‍ර අංශු.. ඒ වගේ මෙන්න මේ අද්භූත බලවේගත් විඥ්ඥාණ ශක්තියෙන් තමන්ගෙ තන්මාත්‍ර අංශුමය ශරීරය පවත්වනවා. 

වැඩේ තියෙන්නෙ මෙතනයි.. සමහර බලවේගවල ශක්තිය වැඩියි. එයාලගේ විඥ්ඥාණය (ආත්මය නැත්නම් බුදුදහමේ විදියට නම් මරණ මොහොතේ ඇතිවෙන චුති සිතෙන් ඉපදුනු සිත් පරම්පරාව) පවතින තත්වය අනුව ඒ ශක්තිය තීරණය වෙනව. 

ඒ ඒ අයගේ ශක්තීන් අනුව සමහරෙක්ට පුලුවන් තමන්ගෙ තන්මාත්‍ර අංශුමය ශරීරයට තාවකාලිකව තවත් අංශු එකතු කරගෙන සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඇහැට පේන විදියේ රූපයක් මවාගන්න. සමහරුන්ට යම් යම් භෞතික වස්තු චලනය කරන්න පුලුවන්. තවත් සමහරුන්ට තාවකාලිකව මානසිකව දුර්වල මනුස්සයෙක්ගෙ මනස පාලනය කරන්න පුලුවන්. ඒ වගේම යම් යම් දේවල්වලදි එයාලා දුර්වලයි. සමහරුන්ට පුලුවන් තමන්ට ඕනෙ හැටියට වාතය කම්පනය කරවලා ශබ්දය නිපදවන්නත්.


මෙයාලාගෙන් බොහෝ අය මනුස්සයන්ට හානි කරන්නෙ නෑ. නිරෝගී මනසක් තියෙන අයට හානි කරන්නත් බෑ. හොඳට තේරුම් ගන්න ඕනෙ දේ, එයාලාට ගනුදෙනු කරන්න පුලුවන් පහසුම මාධ්‍යය ශක්තිය. ජීවත්වෙන මනුස්සයෙක්ගෙ ශක්ති කේන්ද්‍රය හා විඥ්ඥාණය පාලනය කරන්නෙ මනසෙන් නිසා බලවේගත් මිනිස්සුන්ගෙ මනසටයි බලපෑම් කරන්නෙ. 


නූතන විද්‍යාත්මකව පාරජම්බූල කිරණ හා අධෝරක්ත කිරණමය ඡායාරූපවලින් ඔප්පු කරලා තියෙනවා ජීවය පවතින හැම දේකම ශරීරයට පිටින් ආධ්‍යාත්මික ආරක්ෂාවක් වෙන "ඕරා" ශක්තිමට්ටමක් තියෙනවා කියලා. මෙන්න මේක දුර්වල අය විශේෂයෙන් බලවේගවල අවධානයට ලක්වෙනවා.


හොල්මනක් පේනවා කියන සිද්ධිය විද්‍යාත්මකව පැහැදිලි කරද්දි හරි විවිධත්වයක් තියෙනවා. සමහර මිනිස්සුන්ගෙ ඇස්වල දෘෂ්ඨි විතානයේ ප්‍රබලතාවය හා රුධිර සැපයුම වැඩියි. ඒ වගේම සමහරුන්ගෙ ඇස්වල "තමස් දෘෂ්ඨිය" (රාත්‍රී පෙනීම) වැඩියි. සමහරුන්ගේ අක්ෂි කාචයේ වක්‍රතාවය (පළල අඩු වැඩි කිරීම) ගොඩාක් කරන්න පුලුවන්. සමහරුන්ගෙ අක්ෂි කාචයේ නාභීය කේන්ද්‍රය ( පෙනීමේදි වස්තුව කේන්ද්‍ර වෙන තැන) වෙනස් කරන්න පුලුවන්.. මෙන්න මේ වගේ විශේෂතා තියෙන අයට අද්භූත බලවේග පේන්න තියෙන හැකියාව තියෙනව කියලා හොයාගෙන තියෙනවා. මොකද මේ වගේ අයගෙ දෘෂ්ඨි හැකියාව (පෙනීම) සාමාන්‍ය අයට වඩා තියුනුයි.


ඒ වගේම, සමහරුන්ගෙ කනේ කර්ණ පටහ පටලයේ (කන්බෙරයේ) පිහිටීම විශේෂයි. සමහරුන්ගෙ කනේ ඇතුලෙ තියෙන කර්ණ අස්ථිකා (ධරණකය, මුද්ගරිකාව, නිඝාතිය) තියෙන්නෙ පොඩිම සද්දයටත් සංවේදී වෙන්න. ඉතින් ඒ වගේ අයටත් සාමාන්‍ය අයට නොඇහෙන දේවල් ඇහෙනවා.


ඒ වගේම යම් විදියකින් අපේ හිතට බය දැනුනම අපේ මොළයෙන් ශරීරයේ හෝර්මෝන නිකුත් කරන අවයවවලට සංඥා නිකුත් කරනවා. ඒ නිසා ඇඩ්‍රිනලීන්, නොඇඩ්‍රිනලීන්, තෛරොක්සින් වගේ හෝර්මෝන නිකුත් වෙනවා. ඒවා වලින් බයකදී හෝ හදිසියකදී පහරදීමට හෝ පලායෑමට ශරීරය සූදානම් කරවනවා. අන්න ඒකෙදී අපේ ඇස්වල කනීනිකා සිදුර (ඇහේ බබා) විශාල කරවනවා හොඳින් පේන්න. ඒ වගේම ස්නායු පද්ධතිය අතිශයින් තියුණු වෙනවා. සංවේදී වෙනවා. අන්න ඒ වගේ අවස්තාවලත් සාමාන්‍යෙන් බලවේග නොපෙනෙන අයටත් පේන්න පුලුවන්.. මේවා නූතන විද්‍යාත්මක සොයාගැනීම්..


කොහොම වුනත් මිනිස්සු මේ දේවල් අවිශ්වාස කරන්නෙ ඔය කට්ටඩියෝ වගේ අය කරන බොරු නිසා. හැබැයි ඉතින් ඒ මන්ත්‍ර මායා වගේ දේවල් බොරු නෙමේ. ඒවාගෙත් විද්‍යාත්මක පදනමක් තියෙනවා. (ඊළඟ ලිපියෙන් ඒවා කතා කරමු)


හ්ම්ම්ම් ඉතින් ඔන්න දැන් ඔය කිසිම පදනමක්, කරුණු සෙවීමක් නැතිව නැතිව කවුරු හරි කිව්වට ගිරවු වගේ "හොල්මන් නෑ " කියන උදවිය ටිකක් හිතන්ට ඈ.. මං කිව්වටම පිලිනොගෙන කරුණු හොයා බලන්ඩ. ඊට පස්සෙ මං වැරදි නම් මාව විවේචනේ කරන්ඩ.. 


හැමෝටම නුවණැස පහළ වේවා..

Comments

Popular posts from this blog

අංක 18 බිංගයේ අභිරහස😱😱🙄😱😱

The origin, transmission and clinical therapies on coronavirus disease 2019 (COVID-19) outbreak – an update on the status